සිප් සයුරෙහි සැඟ වී ගිය නේක වූ වර්ණයෙන් දිදුලන  මිණිකැට සොයා එවන් වූ මිණිකැට ඔපවත් කරනු වස් දරන්නා වූ ප්‍රයත්නයක හුදෙක් තතු ගැළපුමකට පමණක් අවැසි නොවූ මනුසත් බවේ තවත් එක් නිම්තෙරකි මේ…

20151012_105306

UCSC නම් දැරූ මව් කුසකින් බිහිවූ එකම සහෝදරත්වයක් හද දරනා අප, කලක් සක්‍රියව පැවතී යලි කලක් නිහඬතාවයක ගිලී ගිය UCSC Exploration Club හට පණ පෙවීමට අදහස් කළෙමු.එවන් උදාර අරමුණක් වටා මොහොතින් මොහොත UCSC සහෝදරත්වය එක් රොක් වුණේ මනුසත් බවේ තවත් ඉමක් සොයා පිය නැගිමටයි. UCSC Exploration Club හි මහඟු කර්තව්‍යයේ කොටස් කරුවෙකු වීමට UCSC අප සියලු දෙනාගෙන්ම ලද වචනයක් පවා සවියක් වූ බව නොරහසකි.

දිවා රෑ වෙහිසී බොහෝ බාධක මධ්‍යයයේ වුවත් තවත් නෙතකට ආලෝකය කැන්දූ , තවත් මුවකට සිනා කැන්දූ ඒ සුන්දර වූ දෙදින සඳහා අරුණලු උදා විය.UCSC සහෝදරත්වයේ බැම්මෙන් ලද සවිය සිතෙහි දරා සැමගේම දායකත්වයෙන් ලද පොත් පත් ද, ගුරු හරුකම් ලබා දිමට අවැසි වූ ප්‍රශ්න පත්‍ර හා දැනුම ද, දෝතින් දරා ගත් අප ඔක්තොබර් මස 12 වන දින පා තැබුවේ නවමු මාවතකටයි.

බිබිලේගම මහා විද්‍යාලය, වැරැල්ලගොල්ල විද්‍යාලය, කණවැරැල්ල මහා විද්‍යාලය, ඇත්පට්ටිය කණිෂ්ඨ විද්‍යාලය යන විදුහල් අපගේ ගමනාන්තය විය.මෙම විදු මවුන් තුරුල්ලෙහි ප්‍රාථමික අංශයෙහි අකුරු කෙරූ කුඩා සහෝදර සහෝදරියන් හා ගෙවූ ඒ සුන්දර මොහොතවල් යළිත් අපගේ මතකයට ගෙනෙන්නේ සියුම් සතුටකි.

20151012_092736     20151012_133444

20151013_112836

ඔවුන්ගේ දෑත් මත අප ලබා දුන් පොත් පත් තිබෙනු දැකීම ම අපිට මහත් සතුටක් ගෙන දෙන්නක් විය. ලද ත්‍යාගයෙන් උදම් වූ ඒ ළපටි වතෙහි උපන් අව්‍යාජ සිනාව කිසිදා අමතක නොවෙනු ඇත.

20151013_113909

තවද  අ.පො.ස.සාමාන්‍යපෙළ විභාගයට මුහුණ දීමට නියමිත අපේම සොයුරු සොයුරියන් කැළකට එක් අංශු මාත්‍රයකින් හෝ සහයක් දීමට ලැබිමම අප ලද භාග්‍යකි.

20151013_151847    20151013_151847

මෙවන් මෙහෙවරකට ගිය ගමනේ අප හට නිති සහයෝගය ලබා දුන් එම පාසල් වල විදුහල්පතිවරුන් ඇතුලු සියලුම ගුරු මෑණිවරුන්ද, ගුරුපියවරුන්ද, ප්‍රදේශවාසී සියල්ලන්මද විශේෂයෙන්ම පස්සර පොලිස් ස්ථානයේ ස්ථානාධිපති තුමා ඇතුළු එහි නිලධාරී මණ්ඩලයද  නිරන්තරයෙන් සිහිපත් කල යුතුමය. ඔබගේ වදන් අප දිරිමත් කළා  පමණක් නොව නිති අපගේ සවිය වූවා යයි පැවසීම ඉතා නිරවද්‍යය.

20151013_163910_HDR     20151012_143741

මෙයින් නොනැවතී තව තවත් අනගත පරපුරෙහි නෙත් පෑදීම අපගේ අරමුණයි.එවන් උදාරතර අරමුණක් වටා එක් රොක් වූ ඔබ සැමට අපගේ හද පිරි ස්තුතිය පුද කරන අතර වදනින් හෝ අප සවි නැංවූ ඔබ සැමගේ සහය මතුවටත් එලෙසම බලාපොරොත්තු වන්නෙමු.

Advertisements